ගව ඝාතනය ලංකාව තුල තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන ලද යෝජනාව විවාදයකට හෝ ඡන්ද විමසීමකට හෝ නොගෙන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම ඇත්තෙන්ම ජනතා ජයග්‍රහණයකි. සමහරු පවසන්නේ මෙය සිදුකළේ මස්කඩ හිමියන්ගේ වුවමනාවට බවයි. නමුත් එය සක්සුදක්සේ සාවද්‍ය අදහසක් බව මෙම ලියුම්කරුගේ අදහසයි. ලංකාව තුල බහුතරය හින්දු සහ බෞද්ධ නිසා බහුතරයකගේ මතය ගවමස් වලට විරුද්ධව බවට ඔවුන් සාවද්‍ය මතයක් පැතිරවීමට ඔවුන් යත්ත දරති. ඇත්තෙන්ම එය අමුලික මුසාවකි. ශ්‍රී ලංකාවේ බහුතරය මාංශ ආහාර අනුභව කරන්නන් බව සියළුම සංඛ්‍යාලේඛන වලින් සනාථය. එමෙන්ම 60% වඩා ලාංකිකයන් ගවමස් අනුභව කරන්නන් බවද ලියුම්කරුගේ අදහසයි. එමනිසා බහුතරයේ අදහස ගව ඝාතනයට විරුද්ධවය යන්න කවුරුන් හෝ සාහසිකව ගෙතු මුසාවකි.
අනෙක් අතින් මෙය මස්කඩ ව්‍යාපාරිකයන්ගේ කුමන්ත්‍රණයක් යනුවෙන් පෙන්වා සිටීම වනාහී ජනතාවගේ අනුකම්පා දිනා ගැනීම පිණිස කළ ප්‍රකාශයකි. මස් මුදළාලිලා යනු ව්‍යාපාරිකයන්ය. ඔවුන් වසරකට වරක් ඉතා විශාල ටෙන්ඩර් මුදලක් ගෙවා මස් වෙලඳාමට අවසර ලබා ගනිති. ඔවුන්ට ගවමස් වෙලඳාම තහනම් කළ හොත් හෙට ඔවුන් වෙනත් ව්‍යාපාරයක නිරත වෙනු ඇත. එයින් ඔවුන්ට වන හානිය ඉතා අල්පය. නමුත් මාංශ ආහාර අනුභව කරන්නාවු ජනතාවට ඔවුන් සතු ස්වාධීන අයිතිය ඉන් අහිමි වනු ඇත. සුරාවට, දුම්පානයට, සුදුවට, දුරාචාරයට වැට නොබැඳි රටේ ගව ඝාතණයට එරෙහිව පමණක් හඬක් නැගීම වනාහී සැබෑ කුමන්ත්‍රණයයි. එනම් මෙරට සිටින බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයේ සහජීවනය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයයි.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට උත්සාහ කිරීමෙන් සමහරු උත්සාහ දැරුවේ අපේ රටේ බහුතර ජනතාවගේ ජනාදරය දිනා සිටින සමහර දේශපාලකයන් අසීරුවට පත් කිරීමටයි. බොරු සිල්වත් බවක් මවා පෙන්වමින් ගවමස් වලට පමණක් තහංචි දැමීමට උත්සාහ දැරීම ලෝකයේ කිසිදු දහමකට අනුකූල නොවේ. ප්‍රාණ ඝාතනය අකුසල කර්මයක් නම් එය සියළුම සතුන්ට ඒකාකාරී විය යුතුය. එසේ නොමැතිව ගවයාට පමණක් විශේෂ සැලකීමක් දක්වන දහමක් අප නම් අසා නොමැත. අනෙක් අතට ගව ඝාතනයට පමණක් එවන් තහනමක් කිසියම් දහමකින් පනවා ඇත්තේද එය සමාජගත කළ යුත්තේ බුද්ධිමය ආමන්ත්‍රණයකින් මිස නීතිරීති වලින් ජනතාව පෙලීමට උත්සාහ දැරීමෙන් නොවේ.
අතීතයේදී ඇමරිකාව තුල මත්පැන් තහනම් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවෙන්ම සම්මත කෙරිණි. ඉන්පසුව සිදුවුයේ ජනතාව අතුරින්ම මතුවූ එම නීතිය ජනතාව විසින්ම කැඩීමයි. මෙම නීතිය දැමු පසු නීති විරෝධී මත්පැන් එම රටතුල බහුල විය. ඉන්පසුව මෙහි විපාකය වටහා ගත් ඇමරිකානු රජය විසින්ම එම පනත අකුලා ගන්නා ලදී.
අද තවදුරටත් ගවයා යනු කෘෂිකර්මාන්තයට සම්බන්ධ සතෙකු නොවේ. පශු සම්පතක් ලෙස එලකිරි පමණක් ප්‍රයෝජනවත්ය. මෙම එලකිරිද අප එලදෙන ගෙන් ලබා ගනුයේ එලදෙනගේ කැමැත්තෙන් නොවේ. අකමැත්තෙන් ලබා ගන්නා කිරි ටික පෙන්වා එලදෙනට කිරිමව යන විරුදය ලබා දීම වනාහී මව් කමට කරන්නාවු නිගා දීමකි. ඇත්තෙන්ම එලදෙන අපට කිරිමවක් නොව, අප එලදෙනට කිරි දරුවෝද නොව, අප කිරි මංකොල්ලකාරයෝය.
අන්‍යාගමික අප හට ගව ඝාතනය අරබයා බුදු දහමෙහි විග්‍රහය කුමක්දැයි යන්න තර්ක කිරීමට අවැසි නැත. ඒ සඳහා ඕනෑ තරම් බොදුනු යතිවරුන් සහ විද්වතුන් කරුණු පෙන්වාදී ඇත. දයාවංශ ජයකොඩි සහ සමාගම මගින් ප්‍රකාශිත පුජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමිගේ නිර්මාංශ ප්‍රශ්ණය පොත එයට එක් නිදසුනක් පමණි.
සමහරු මැවුම්වාදය පිළිගන්නාවු දහම් වලද සතුන් මැරීම අනුමත කර නොමැති බවත් ඒවා කලයුතු ආකාරය මේ යැයි ඉතා අසීරු ආකාරයක් දක්වා ඇතැයි සාවද්‍ය මත ප්‍රචාරය කරති. ඇත්තෙන්ම දේවවාදී දහම් විසින් මාංශ ආහාර අනුභවය අරබයා අසීරු නීති දමා තිබේ නම් හැකි නම් ඒවා මුලාශ්‍ර (ග්‍රන්ථ නාම/පරිච්ඡේද/පිටු අංක) සහිතව ප්‍රසිද්ධ කරන ලෙස අභියෝග කරමි. එලෙස නොකර අර ආගමේ මෙසේ කියා තියෙනවා/ මේ ආගමේ අරම කියා තිබෙනවා යැයි ප්‍රලාප පැවසීම ඕපාදුප අම්මන්ඩිලාගේ පිළිවෙතක් මිස බුද්ධිමතුන්ගේ ක්‍රියාවක් නොවේ.
කෙසේ නමුදු කිසියම් දහමකින් මාංශ ආහාර අනුභවය පිළිකෙව් කර ඇතිද එම ආගමිකයන් එය ඒ ආකාරයෙන්ම ඒ පිළිපැදිය යුතු බව මේ ලියුම්කරුගේ අදහසයි. එවිට එමගින් ඔවුන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති වී අන්‍යාගමිකයන් එය දුටුවහොත් ඔවුන්ද ඒ මග යෑමට නිරායාසයෙන්ම පෙලඹෙනු ඇත. එය අප රටේ ආගමික සංහිඳියාවකට මග පෑදෙනු ඇත. එමෙන්ම ගවමස් වල ඉල්ලුම අඩුවී මස් කන්නාවු අපට ලාබෙට මස් ටිකක් අනුභව කළ හැකි වනුද නියතය.