Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

“මුහම්මද්” නමින් පලකළ මව්බිම ලිපිය අපහාසාත්මක සහ වැරදි සහගත එකකි.

මව්බිම පුවත්පත

මව්බිම පුවත්පත

මව්බිම පුවත්පත් සමාගම විසින් 2012 ජූලි 24 වන අඟහරුවාදා පලකළ පුවත් පතේ “Life 100” “ලෝකය Change කරන්න ඉවහල් වුණු මිනිස්සු” “මුහම්මද්” යන උදෘතයෙන් “රජී” නම් වු නැමැත්තෙකු විසින් පලකළ ලිපියෙන් සහ ඒ සමග පලකළ පිංතූරයෙන් ඉස්ලාමයේ මහාර්ඝ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ට විශාල අපහාසයක් වී ඇත.


මෙම ලිපියේ ඡායාරූපය පලවීමෙන් නැවත මුහම්මද් තුමාණන්ට අපහාසයක් සිදුවන බැවින් පිංතුරය කපා පලකරමි.

මෙම ලිපියේ ඡායාරූපය පලවීමෙන් නැවත මුහම්මද් තුමාණන්ට අපහාසයක් සිදුවන බැවින් පිංතුරය කපා පලකරමි.

 

මුස්ලිම් සමාජයෙන් එල්ලවු විරෝධතා හමුවේ මව්බිම පුවත්පත විසින් පිංතූරය ගැන නිවැරදි කිරීමක් පලකළ නමුදු එම පුවතින් සිදුවු වැරදි තොරතුරු නිසාවු අපහාසය ගැන මේ වන තුරු කිසිදු පියවරක් ගෙන නොමැති බව පෙනෙන්නට තිබෙන කරුණකි. ඒ නිසා මෙම ලිපිය ලියමින් එහි අන්තර්ගතය විමර්ශනයකට ලක්කිරීමට තීරණය කළෙමි. ඒ ලිපියේ කොටස් වෙන වෙනම උපුටා ගනිමින් ඒ ගැන මගේ විග්‍රහය කරන බව කරුණාවෙන් සලකන්න.

 

මාතෘකාව උපුටා ගැනීම

“Life 100” “ලෝකය Change කරන්න ඉවහල් වුණු මිනිස්සු” “මුහම්මද්”

උපුටා ගැනීම අවසන්

 

සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම (සිංග්ලිශ්-Singlish) වචන අරගෙන සෑදූ මෙම මාතෘකාවෙන්ම ලේඛකයාගේ සහ පුවත්පත් කතුවරයාගේ නොහැකියාව පිළිබිඹු වෙයි. මෙහි අරුත් ගැන්වෙන්නේ “ජීවිත 100” “ලෝකය වෙනස් කරන්න ඉවහල් වුණු මිනිස්සු” “මුහම්මද්” යනුවෙනි. ඇමරිකානු ලේඛක මයිකල් එච්. හාර්ට් විසින් රචිත The 100: A Ranking of the Most Influential Persons in History නම්වු පොතක් 1978 දී පලකරන ලදී. මා සිතන්නේ මේ ලේඛකයා විසින් මාතෘකාව සකසා ගන්නා ලද්දේ මේ පොතෙහි මාතෘකාව අනුසාරයෙන් බවයි. කෙසේ නමුත් මාතෘකාව සිංහලෙන් නිවැරදිව සාදා ගැනීම සම්බන්ධව නම් පුවත් පත් කතුවරයා සහ ලේඛකයා යන දෙදෙනාම අසමත් බව කිව යුතුමය.

 

උපුටා ගැනීම

පසුකාලයේ ඉස්ලාම් ආගම පිළිබඳ විධිමත් අධ්‍යනයක් කළ අයකු එයට උරුම හිමිකම් කී අයකු උපත ලබන්නට විය. හේ මුහම්මද් නම් විය. ඔහු උපත ලද්දේ ජේසුස් ඉපිද සියවස් 6 කට පසුය. මුහම්මද් නමේ තේරුම වුයේ අතිශයින්ම ප්‍රශංසනීය යන්නයි. මුහම්මද්ගේ දෙමාපියන් මිය යන විටත් ඔහු ඉතා ළදරු වියේ පසු වුවෙක් විය. ඉන් පසුව ඔහුව රැක බලාගනු ලැබුවේ තම මාමා කෙනෙකු විසිනි. ඔහු උපත ලද්දේ ඒබ්‍රහම් ඉෂාමෙල් යන පරපුරේ සමකාලීණයකු ලෙසිනි. මුහම්මද් නක්ෂත්‍රකරුවෙකු වු අතර  ඔහුගෙන් පසු කිසිවෙකු එය දැන නොසිටි බැවින් නක්ෂත්‍රකරුවන්ගේ ප්‍රධානියා ලෙස ඔහුව මුද්‍රා තබන ලදී.

උපුටා ගැනීම අවසන්

 

මෙහිදී පසුකාලයේ ඉස්ලාම් ආගම පිළිබඳව යනුවෙන් ලේඛකයා ආරම්භ කිරීමෙන් මෙම ලිපිය කිසියම් ලිපියක මැද කොටසකින් උපුටා ගන්නා ලද්දක් බැව් පෙනේ. එහිදී ඔහු සඳහන් කරන ඒබ්‍රහම් ඉෂාමෙල් යන නම් දෙකකි. මේ නම් දෙකම භාවිතා කර තිබෙන්නේ වැරදි ආකාරයටයි. ඒබ්‍රහම් නමේ නිවැරදි උච්චාරණය ඊබ්‍රාහීම්ය. මේ ලේඛකයා ඒ නම ලියා තිබෙන්නේ කිතුණු ක්‍රමයටයි. ඉෂාමෙල් කියා කෙනෙක් නැත. සිටියේ ඉස්මයිල් නම් නබි වරයායි. මේ නම කිතුණුවන් පවසන්නේ ඉශ්මායෙල් යනුවෙනි. මෙම ලේඛකයා ඉස්ලාම් ගැන ලියන්නේ කිතුනු ක්‍රමයට බව පැහැදිලිය.

 

මෙම ලිපියේ ඇති බරපතලම අපහාසය නම් “මුහම්මද් නක්ෂත්‍රකරුවෙකු වු අතර  ඔහුගෙන් පසු කිසිවෙකු එය දැන නොසිටි බැවින් නක්ෂත්‍රකරුවන්ගේ ප්‍රධානියා ලෙස ඔහුව මුද්‍රා තබන ලදී.” යන කොටසයි. ඇත්ත වශයෙන්ම මුහම්මද් නබි තුමාණන් යනු නබි Prophet වරයෙකි. නබි වරුන් යනු දෙවිඳුන් විසින් මෙලොවට පහල කරන ලද මානව ශාස්තෘ වරුන්ය. ඔවුන් විසින් කරන්නේ දෙවිඳුන්ගේ කැමැත්ත ලොව ප්‍රකාශ කිරීමයි. ජුදෙව්, කිතුණු සහ මුස්ලිම් වරුන් මෙම මානව ශාස්තෘ Prophet සංකල්පය විශ්වාස කරති. ඉස්ලාම් පවසන්නේ මුහම්මද් නබි තුමාණන් නබිවරුන්ගේ අවසාන නබි වරයා ලෙස අල්ලාහ් විසින් මුද්‍රා තබා ඇති බවයි. ඉස්ලාම් නක්ෂස්ත්‍ර සහමුලින්ම ප්‍රතික්ෂේප සහ පිළිකුල් කරන දහමක් වන අතර මුහම්මද් නබි තුමාණන් කිසිදු අවස්ථාවක නක්ෂස්ත්‍රය භාවිතා කොට නැත.  

 

උපුටා ගැනීම

තරුණ කාලයේ ඔහුගේ හදවතට ආදරය, කරුණාව, ත්‍යාගශීලී බව, සත්ගුණවත් බව කාවැදී තිබුණු බවට මුස්ලිම් සංස්කෘතිය මගින් අනාවරණය කෙරේ. තම වයස අවුරුදු 25දී විවාහ වුණු අතර ඉන් වසර 15 කට පසු ධර්මය උනන්දුවෙන් දේශනා කරන්නට විය. නිදහසේ සිතුවිලි අතර නිමග්න වීමට හා යාච්ඤා කිරීමට ඔහු මෙකාහි ගල් ගුහාවකට යන්නට විය.

උපුටා ගැනීම අවසන්

 

තරුණ කාලයේ මුහම්මද් නබි තුමාණන්ට තිබු ගුණාංග අනාවරණය කරන්නේ එතුමන්ගේ අනුගාමිකයන් විසින් පවසන ලද වදන් වලිනි. මේවා නබි වදන් (හදීස්) ග්‍රන්ථ වල සටහන් වී ඇත. මෙහිදී ලේඛකයා සංස්කෘතිය යන වචනයේ සැබෑ අරුතද නොදන්නා බව පැවසිය හැක. සංස්කෘතිය මගින් අනාවරණය කරන්නේ කිසියම් සමාජයක උත්කර්ෂය මිස පුද්ගලයෙක් ගැන නොවේ. එතුමන් ඉස්ලාමය දේශනා කරන්නට පටන් ගත්තේ වයස අවුරුදු 40 පසුව වන අතර මේ ලේඛකයා විසින් “මෙකා” යන වැරදි නමින් හැඳින් වු නිවැරදි නගර නාමය වන “මක්කාහ්” හි “හිරා” නම් ගුහවකට පුරුද්දක් ලෙස වරින් වර ගොස් තනිවම ධ්‍යාන ගතව සිටියේ ඊට පෙරදීයි. එතුමන්ට වයස අවුරුදු 40 දී දේව අනාවරණය ලැබුණු පසුව තවදුරටත් පුරුද්දක් ලෙස එම ගුහාවට ගිය බවක් නබි වදන් වල කිසිදු ස්ථානයක සඳහන් නොවේ.  

 

උපුටා ගැනීම

ක්‍රි.ව. 632 දී මුහම්මද් තුමා ඩෙයිනා හිදී මියගිය අතර ඉන්පසු සියවස තුල මුස්ලිම් බලය ආර්මේනියාව, ඉරාකය, ලෙබනනය, පලස්තීනය, පර්සියාව, ස්පාඥ්ඤය, සිරියාව සහ උතුරු අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශ ගණනාවක පැතිර යන්නට විය. මුහම්මද් තුමා විසින් අරාබි ජාතිකයන්ට ආගමක් ලබාදුන් අතර එම ආගම ලොව විශාලතම ආගමක් වශ‍යෙන් ලොව ප්‍රචලිතව තිබේ.

උපුටා ගැනීම අවසන්

 

මුහම්මද් නබි තුමාණන් මිය ගිය ස්ථානය ගැනද මේ ලේඛකයා පවසන්නේ වැරදි නමකි. මුහම්මද් නබි තුමාණන් මියගියේ “ඩෙයිනා” නොව “මදීනා” හිදීයි. එමෙන්ම මුහම්මද් තුමාණන් අරාබි ජාතිකයන්ට ආගමක් දුන් බවක් සඳහන් වීමද වැරදි අදහසකි. ඉස්ලාම් දහම මිනිසා වෙත දානය කරන ලද්දේ අල්ලාහ් විසින් වන අතර එය අරාබි වරුන්ට දුන් දහමක් නොව ලොව සව්සත වෙතම දුන් එකකි. මුහම්මද් නබි තුමාණන්ගේ කාලයේ මදීනා නුවර ඉස්ලාම් වැලඳ ගත් අය අතර අරාබි ජාතිකයන්ට අමතරව ජුදෙව්, පර්සියානු, අප්‍රිකානු ජාතීක මිනිසුන් සහ තවත් බොහෝ ජාතිකයන් සිට ඇත.  

 

මෙහි ලේඛකයාගේ නම සඳහන් වන්නේ “රජී” යන අන්වර්ථ නමකිනි. ‍මෙම ලිපිය ලියු ලේඛකයා විසින් තමන් ලියු ලිපිය සම්බන්ධව වගකීමක් ගත නොහැකි අයෙක් බව මෙයින් ගම්‍ය වේ. මෙම ලිපිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය (Freedom of expression) දඩමීමා කරගෙන එතුල සැඟවී සිටීමේ උපාය මාර්ගිකව ලියුවක් බව අපට පැහැදිලිය. කෙසේ නමුදු ඉස්ලාමය ගැන ගවේෂනාත්මක හෝ විවේචනාත්මක ලිපියක් ලියන්නට තරම් මේ ලේඛකයා පරිණත නොවන බවට මෙම ලිපිය තුලින් පැහැදිලි වන තවත් කරුණකි. ‍එමෙන්ම වගකීමකින් තොරව මෙවැනි ‍ලේඛකයන්ගේ ලිපි තම කතුවරත්වයේ පවතින පුවත් පතක පලකිරීමෙන් කතුවරයාගේ නොහැකියාවද පිළිබිඹු වේ.  

 

 

  • bunanm says:

    මෙන්න ලිපිනය ….
    Telephone: 0117-566 566/0117-566 535
    Fax: 0117-566 546
    Email:ceylontodayonline@gmail.com

    ලෝකයේ මිලියන 200 කට වඩා ජනතාවගේ ආදරයට පාත්‍ර ආගමික නායකයාණන් ගැන ලියනවිට මෙයට වඩා වගකිවයුතු නොවන්නේද?අපගේ සදාදර වක්තෘන් වරයානන්ගේ නැති චායරුපයක් පළකිරීමෙන් ඔබගේ බලාපොරොත්තුව අපට ගැරහීම නොවෙය්ද? අප ඔබගේ ප්‍රශංසාවන් අපේක්ෂා නොකරන්නෙමු.නමුත් සත්‍යය ලියයුතුය.නොදන්නේනම් අද්‍යයනය කලයුතුය විනා තමන් නොදන්නා අණ්ඩර දෙමළ ලියන්නේ කිමටද?මුහම්මද් (සල්) තුමා නාට්සාට්ර කරුවෙක් වුනේ කවදාද?එහෙම මුද්‍රා තිබ්බේ කව්ද?එතුමා ඉස්ලාම් ආගමට උරුමකම් කියන්න උපන්නේය ,මේ මොන මුලාශ්‍රයකින් ලබා ගත්තක්ද?එතුමාව කුඩාකල රැකබලා ගත්තේ මාමා වුනේ කොහොමද?තාත්තගේ මල්ලි මාමා වුනේ කවදාද?එතුමා ගල්ගුහා වල යාතන්‍යා කලේ කොය් කලකද?මොනවාද මුලාශ්‍ර?මෙවන් පරස්පර විරෝදී අදහස් තුලින් ඔබලා බලාපොරොත්තු වන්නේ මුස්ලිම් අපට රිදවීම නොවේද?

    2012/07/28 at 12:01 PM
    • jahns tikkah says:

      main reason degrading the prophet of islam, while filling the pocket by writing something without any responsibility, if this happen to budda problom is different, actualy they are not writers, they are ”BADAGOSTHARAWADEE” unethical writers. NODANNA KEHEMMALA LIYANNE EI?

      2012/08/30 at 2:34 PM
  • Rashid says:

    Well done Brother Anver, you have corrected the article. I think Mawbima paper should have had somecommonsense before publishing this article. At least the Editor should have proof read properly what this idiot RAJI is writing. I think he translated English phrased into Sinhalese using Google Transliterations. Mawbima paper should be ashamed of themselves to go down this way.

    2012/07/28 at 12:39 PM
  • hasan says:

    ඉස්ලාමය ලංකාව තුළ ව්යාප්තවීම වළක්වාලීම සඳහා සිතාමතා කළ කුමන්ත්රණයක්

    වර්තමානයේදී, ලෝකයේ වැඩියෙන්ම ජනයා වැළඳගන්නා ධර්මය ඉස්ලාම් වේ. එමෙන්ම ලංකාවේද බෞද්ධයන් අතර ඉස්ලාමය හඳුන්වා දීම තරමක අන්දමින් ප්රගතියක් දක්නට ලැබේ. මෙවැනි පසුබිමක ඉස්ලාමයේ පැතිරීම නුරුස්සන පිරිසක් විසින් ඉස්ලාම් ධර්මයේ ප්රධාන අරමුණ වැරදි අන්දමට ලබාදීම මගින් ලංකාවේ ජනයා ඒ ගැන වැඩි උනන්දුවක් නොදැක්විය යුතුය යන අරමුණෙන් මෙම ලිපිය ලියා ඇති බව පෙනේ.මෙම ලිපියේ වැදගත් කරුණු රාශියක් සඟවා ඇත.

    1.මුහම්මද් නබි (සල්)ගේ පින්තූරය පළ කිරීම:

    මුස්ලිම්වරු තම දූතයාට ඉතාම ආදරයක් දක්වන සමූහයකි. එතුමාගේ නම පවසන සෑම අවස්ථාවකම එතුමාට අල්ලාහ්ගේ ආශිංෂණය පතා ප්රාර්ථනා කරති.

    මෙවැනි ආදරයක් දැක්වුවද එතුමාගේ රූපය ඇඳීමට කිසිදු මුස්ලිම්වරයෙක් ඉදිරිපත් නොවන්නේය.හේතුව රූප වන්දනාව ඉස්ලාම් ධර්මයේ තහනම් ක්රියාවකි.

    බුදුන් වහන්සේට ආදරය දක්වන බෞද්ධයෝ එමෙන්ම ජේසුස් වහන්සේට ආදරය දක්වන ක්රිස්තියානිවරු තමන්ගේ ආදරය විදහා දැක්වීමට සැමතැනකම වගේ එතුමන්ලාගේ යැයි සිතාගෙන සමහර පින්තූර සකසාගෙන එයට වැඳුම් පිදුම් කරති.

    ලේඛකයා මෙම ආගම් තුනම එකසේ පෙන්වන්නට උත්සාහ කර තිබේ. ඉස්ලාම් ධර්මයේ දේශකාය වශයෙන් පැමිණි මුහම්මද් (සල්) නබිතුමාගේ රුව පළකිරීම හෝ එසේ පළකරන රූවලට ගරු කිරීම හෝ තහනම් ක්රියාවක් වේ.

    2. ///පසුකාලයේ ඉස්ලාම් ආගම පිළිබඳ විධිමත් අධ්යයනයක් කළ අයකු එයට උරුම හිමිකම් කී අයකු උපත ලබන්නට විය///

    මෙම ලේඛකයාට ඉස්ලාම් ආගම ගැන හෝ මුහම්මද් (සල්) තුමා ගැන දැනුමක් නොමැත. එයට හේතුව මුහම්මද් (සල්) නබිවරයා කුඩා කාලයේ සිට ඉස්ලාමය හැදෑරූ කෙනෙක් නොවේ.

    එතුමා සාක්ෂර දැනුමක් නැති පුද්ගලයෙකි. ශුද්ධ කුර්ආනයේ වැකි අරාබි ව්යාකරණ නීතී රීතිවලට අනුව සැකසී ඇත.

    සාක්ෂර දැනුමක් නැති කෙනෙක් මගින් ශුද්ධ කුර්ආනයට සම්බන්ධ වැකි දහස් ගණනක් ව්යාකරන නීති රීතිවලට අනුව දැනුම්දීම මගින් අල්ලාහ් ප්රතිහාර්යයක් කර ඇත්තේය.

    එනම් මෙම දැනුම්දීම අල්ලාහ්ගෙන් බව පිළිගැනීමේ මූලික පසුබිමක් අල්ලාහ් විසින් කර ඇත.

    ඔවුහුම (සාක්ෂරතා දැනුම නොමැති එනම්) උම්මි නබි වන මෙම දූතයාව පිළිපදින්නෝය. ඔහු සම්බන්ධව ලියවා තිබෙන දේ, තමන් හමුවෙහි ඇති තව්රාතයෙහිද ඉන්ජීලයෙහිද දැකගන්නෝය.(ශු.කු.7:157)

    උම්මි යන අරාබි වචනයෙහි අර්ථය, සාක්ෂරතා දැනුම නොමැති යන්නය.

    අනෙක් කාරණය ඉස්ලාම් ධර්මය යනු, “අල්ලාහ්ට අවනතවීමේ ක්රියාවලිය“ යන්න වේ. එනම් ඉස්ලාම් ධර්මයේ අයිතිකරු අල්ලාහ්ය.

    ඉස්ලාමයේ කිසිවක් වෙනස් කිරීමට හෝ එහි අළුතින් යමක් ඇතුළු කිරීමට හෝ අනුමැතියක් නොමැත. හේතුව ඉස්ලාමය අල්ලාහ්ගේ මඟ පෙන්වීම වීමය.

    ජනයාට ඉස්ලාමය දේශනා කිරීමට පැමිණි මුහම්මද් (සල්) ට පවා මෙහි වෙනස්වීමක් කළ නොහැකි බව කුර්ආනය පැහැදිලිව පවසයි.

    මොහු අප කෙරෙහි සමහර වචන ගොතා පවසන්නේ නම්, ඔහුගේ දකුණත අල්ලන්නෙමු.(ශු.කු.69:44,45)

    පසුව, අපි ඔහුගේ බල නහරය කපා දමන්නෙමු.(ශු.කු.69:46)

    කුර්ආනයෙහි යම් වචනයක් ඇතුළු කර හෝ වෙනස් කර පැවසුවේ නම් තම නබිවරයාට පවා දඞුවම් කරන බව අල්ලාහ් ඉහත වැකි දෙකෙන් පවසයි.

    හේතුව එහි අයිතිකරු අල්ලාහ්වීමය. එහෙයින් මුහම්මද් (සල්) මෙම ඉස්ලාමය තමාගේ බව කිසිවිටෙක නොපැවසුවේය.

    3. ///මුහම්මද් නක්ෂත්රකරුවෙකු වු අතර ඔහුගෙන් පසු කිසිවෙකු එය දැන නොසිටි බැවින් නක්ෂත්ර කරුවන්ගේ ප්රලධානියා ලෙස ඔහුව මුද්‍රා තබන ලදී.///

    ///මුහම්මද් නක්ෂත්රකරුවෙකු වු අතර:///

    මෙහිදී මුහම්මද් (සල්) නක්ෂත්රකරුවෙකු බව පෙන්වීමට ලේඛකයා උත්සාහ දරා ඇත.

    ඉස්ලාමයේ නක්ෂත්ර බැලීම තහනම් ක්රියාවකි. මුහම්මද් (සල්) තුමා තම සමූහයාව නක්ෂත්ර බැලීමෙන් වැළැක්වූයේය.

    ඔබලා ඊතල විදීමෙන් නිමිති බැලීමද (තහනම් කරනු ලැබීය.) මේවා පාපයන් වේ. (ශු.කු.5:3)

    නිමිති බැලීම ඉස්ලාමයේ තහනම් කළ ක්රියාවක් බවද, එය පවක් බවද කුර්ආනය පවසයි.

    සුනඛයාව විකිණිමෙන් ලබාගත් මුදල, පර පුරුෂ සේවනයෙහි යෙදෙන තැනැත්තියගේ ආදායම, හා නක්ෂත්රකරුගේ ඉපයීම යනාදිය නබි (සල්) තුමා වැළැක්වූයේය.
    දැනුම් දෙන්නා- අබූමස්වූද් (රලි), ග්රන්ථය: බුහාරි

    4.///ඔහුගෙන් පසු කිසිවෙකු එය දැන නොසිටි බැවින් නක්ෂත්ර්කරුවන්ගේ ප්රුධානියා ලෙස ඔහුව මුද්‍රා තබන ලදී.///

    මුහම්මද් (සල්) නක්ෂත්රකරුවන්ගේ ප්රධානියා වශයෙන් මුද්රාව තැබූ බව මෙහිදී ලොකු බොරුවක් පවසා ඇත.

    ඉස්ලාමයේ මුද්රාව යන වචනය උපයෝගී කර ඇත්තේ, ඉන් පසු නොමැත යන්න පැවසීම සඳහාය.

    එනම් අල්ලාහ් විසින් කලින් කලට ජනයාව දැනුවත් කිරීම පිණිස මිනිසුන් අතරින් තෝරාගත් දූතයින්ව එම සමාජයටම යවන ලදී. මෙම දූත පෙළේ අවසාන දූතයා මුහම්මද් (සල්) ය. එහෙයින් දූතයින්ගෙන් අවසාන දූතයා මුහම්මද් (සල්) ය. එහෙයින් ඔහු දූතයින්ට මුද්රාව වේ.

    මුහම්මද්, ඔබලාගේ පිරිමින්ගෙන් කිසිවෙකුටත් පියා ලෙස නොසිටියේය. නමුත්, අල්ලාහ්ගේ දූතයා ලෙසද නබිවරුන්ගේ මුද්රාව ලෙසද සිටියි. අල්ලාහ් සියල්ල ගැනම හොඳින් දන්නා ලෙස සිටියි. (ශු.කු.33:40)

    ලේඛකයා, මෙම දූත මෙහෙය සඟවා නක්ෂත්රකරුවෙකු ලෙස හැඳින්වීමට තැත් කිරීමෙන් මොහු ඉස්ලාමය ගැන කෙතරම් විරෝධී අදහස් දරන්නෙක් යන්නද පැහැදිලි වේ.

    එමෙන්ම ‘මව්බිම‘ පුවත්පතද එයට අනුබලදීමක් කර ඇත. මෙවැනි පුවත්පත්වලින් මව්බිමෙහි පවතින සාමය නැතිවීමක් ඇතිවන්නේය.

    “ලාඉලාහ ඉල්ලල්ලාහ් “ යන පාඨයම ඉස්ලාමය අනෙක් ආගම්වලින් වෙන් කර දක්වන පාඨය වේ.

    එනම් අල්ලාහ් හැර නැමදුමට සුදුස්සෙක් වෙන නොමැත“ යන්න එහි සෘජු අර්ථය වේ.

    එනම් අල්ලාහ්ට පමණක් නැමදිය යුතු යැයි පැහැදිලිව ඉස්ලාමය පවසයි.

    වර්තමාන බසින් පවසන්නේ නම්, පැවිදි අයට, පිළිරූවලට, ගස්වලට, සතුන්වලට වැඳ වැටීමෙන් ඉවත් වී සිටින්නැ යි ඉස්ලාමය පවසයි.

    එයට හේතුව එසේ වැඳ වැටීමට හෝ යම් යම් කාරණා මත ප්රාර්ථනා කිරීමට එකම එක සුදුස්සෙක් සිටියි. එයට හේතුව සියළුම හැකියාවන්වලින් යුක්ත වූ, එමෙන්ම මෙම විශ්වය හා මිනිසාව මවා පාලනය කරන්නා වූ අල්ලාහ් පමණක් මෙම වැඳ වැටීම් ලැබීමට එකම සුදුස්සා වන බැවිනි!

    ලේඛකයා පවසන අන්දමට මෙම ඉස්ලාමය ව්යාප්ත වූයේ නක්ෂත්ර හේතුකොටගෙන නොව, නැමදුම් ලැබීමට එකම සුදුස්සා අල්ලාහ් යන සත්යය හේතුකොටගෙනය.

    2012/07/28 at 4:18 PM
  • Mr. Who-2 says:

    මව්බිම ලිපියේ වැරදි ප්‍රධාන වශයෙන් දුබල ඉංග්‍රීසි දැනුම නිසා සිදුවූ බව පෙනේ. Prophet යන වචනය prophecy කියන්නා ලෙස තේරුම් ගෙන ඇති බව පෙනේ. දුර්වල transliteration හේතුවෙන් අරාබි වචන වැරදි ලෙස සිංහලෙන් ලියා ඇති බවද පෙනේ.
    මේ වැරදි සියල්ල කෙසේ වෙතත්, ලිපිය ලියා ඇත්තේ අපහාස කිරීමට බැව් පිලිගැනීමට අපහසුය. අවශ්‍යනම් දත්ත නිවැරදිව ඉදිරිපත් කරමින් වුව, අපහාසාත්මක ලිපියක් ලිවීම අපහසු නැත. අපහාසයකට වඩා මටනම් පෙනෙන්නේ නොහැකියාවයි.

    2012/07/28 at 6:13 PM
    • Brother says:

      මාද ඔබ සමග එකඟ වෙනවා. අන්වර් මේ ලිපිය හදිස්සි වෙලා පල කලාදෝයි හිතෙනවා. කොහොම වුනත් කල යුතුව තිබුනේ මේ සම්බන්ධයෙන් අදාල පුවත්පතේ කර්තෘවරයාට ලිපියක් යොමු කර නිවැරදි කිරීමයි. නිගමන වලට ආ යුත්තේ ඊට පස්සෙ. අපහාසයක් කියා පැවසීමට තරම් මෙතන සාක්ෂි මදි. එය එසේ නම් ඔවුන්ට පින්තූරයද ඉවත් නොකර ඉන්න තිබුනා.

      2012/07/28 at 6:36 PM
      • Anver Manatunga says:

        මෙතැන මුහම්මද් නබි තුමාණන් ගැන වැරදි ආකාරයේ තොරතුරු පලවීමෙන් අපහාසයක් සිදුවන්නේ නැද්ද? පුවත් පතක් යනු වගකිව යුතු මාධ්‍යයක්. එතුලින් කිසියම් වැරැද්දක් සිදුවන්නේ නම් එය ඉතාමත් බරපතල දෙයක්. එය නිවැරදි කරන්න පසුව ලිපි කීයක් ලිව්වත් බැහැ. අනෙක පුවත්පත් විසින් කරන්නේ කිසියම් වැරදි දෙයක් පලකර එය අසුවු පසුව කුඩාවට නිවැරදි කිරීමක් දැමීමයි. මෙතන බුදු දහමට මෙවැනි දෙයක් වුණා නම් බලාගන්න තිබුණා මොනවද වෙන්නේ කියලා.

        2012/07/28 at 6:55 PM
        • Brother says:

          සමාවෙන්න ඕනේ…මා මෙහි හඟවන්නට උත්සහ කලේ අපහාසයක් සිදු වී ඇත්නම් එය උවමනාවෙන්ද නැතහොත් නොදැනුවත්කමින්ද යැයි ප්‍රථමයෙන් දැනගැනීමටයි. ඒ සඳහා ඔවුන්ට මුලින්ම අවස්ථාවක් ලබා දිය යුතුව ඇති නිසා මේ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් මුලින්ම සිදුකල යුතු යැයි කිවා. එහිදී ඔවුන්ගේ ස්ථාවරය අපට දැන ගත හැකි වෙනවා. ‘මව්බිම’ ගැන මා නොදන්නා නමුත් ‘දිවයින’ නම් මෙවන් අවස්ථාවලදී ක්‍රියා කරන්නේ අන්තවාදී ස්වරුපයෙන් බව මට කිව හැකි.

          2012/07/29 at 2:07 PM
        • Mr. Who-2 says:

          මෙතැන අපහාසයක් සිදුවී ඇතිනම් එයට හේතුව ලෙස පෙනෙන්නේ නොහැකියාවය. අවාසනාවකට බොහෝමයක් රටවල මාධ්‍යයන්වල සුලු ජාතීන් හෝ ආගම් පිලිබඳව පලවන්නේ දුර්වල ලිපීන්ය. එයට පලමු හේතුව වන්නේ නොදැනුවත්කමය.

          මෙම ලිපිපෙලේ ඉදිරි ලිපි වල වැරදි මගින් කතුවරයාගේ ඇත්තේ දුර්වලකමද නැත්නම් වෙනත් උපායක්ද යන්න පෙනී යනු ඇත.

          2012/07/29 at 3:27 PM
  • fathima says:

    ලෝකය වෙනස් කරන්න ඉවහල් වූ මිනිසුන් 100 කියා දැම්මට එහි පලවෙනි තැන අපේ මුහම්මද් නබි (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය සහ සමාදානය අත්වේවා ) තුමාට තිබෙන බව දාලා නැහැ.උපුටා ගත්ත කෘතිය දාලත් නැහැ.ලියපු කෙනා ලියල තියෙන්නේ තමන්ගේ හිතේ මවාගත්තු කෙනෙක් ගැන මිසක් අපේ නබි (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය සහ සමාදානය අත්වේවා )තුමා ගැන නෙවෙඉ.

    2012/07/28 at 7:41 PM
    • අතුරලියේ කතුර says:

      එතුම ලෝකය වෙනස්කරන්න සැහෙන්න ඉවහල් වෙලා තියෙනව
      උෙේට ලෝක සිතියම බලපුවහම අපිට එක පේනව
      (එතුමාය ශාන්තිය හා සමාදනාය අත්ෙොව)

      2012/07/31 at 2:41 PM
  • Husny says:

    අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.
    අන්වර් සහෝදරයා වෙත.
    ඔබ තුමා මේ කරන සේවයට සර්වබලධාරී අල්ලාහ්ගේ උදව් වැඩි වැඩියෙන් ලැබේවා..!! ආමීන්
    මුස්ලිම් නොවන පුද්ගලයින් වැඩිපුර ඇසුරු කරන මං වැනි අයට ඔබ තුමාගේ බ්ලොගය ඉතාමත් ප්‍රයෝජනවත්ය. මන්ද කාෆිර්වරුන් අපෙන් අහන ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට තරම් මනා දැනුමක් මා සතුව නැත. කාලෙන් කාලෙට දැවෙන ප්‍රශ්ණ වලට නිවැරැදිව තේරෙන සිංහලෙන් විග්‍රහයක් දීමෙන් මාගේ මිතුරන්ගේ ප්‍රශ්ණවලට මට සාර්ථකව පිළිතුරු දීමට පුළුවන් වී ඇත.
    ජසාකල්ලාහු හයිරා..!!

    2012/07/28 at 9:28 PM
  • sana says:

    මව්බිම හා දිවයින යන පත්තර දෙකටම මුස්ලිම් වරුන්ගේ මොනාව හරි ප්‍රශ්නයක් හොයාගෙන පළකලේ නැත්තම් එදාට එහි බලදාරීන්ට නින්ද යන්නේ නැති තරම්. මේ පත්තර දෙකම ලංකාවේ හා ලෝක මුස්ලිම් ප්‍රජාව ගැන නිතරම පහත් මට්ටමේ ප්‍රවුර්ති පළකරනවා. මෙම ප්‍රවුර්තිය ඉතා බොළඳ හා පහත මට්ටමේ වැඩක්. ඔවුන් දන්නවා අපි අපේ නබි තුමාණන් වෙනුවෙන් කිසිදිඋ පින්තූරයක් හෝ චිත්‍රයක් පාවිච්චි නොකරන බව. මෙය දැනගැනම කරපු වැඩක් කියන එක තම මගේ අදහස. එක ස්ථිර වෙන්නේ ඔවුන් තාම එම පුවත නිවෙරදි කළේ නෑ.

    2012/07/30 at 2:26 AM
  • adhahasak says:

    නබි තුමා භාවනා කලාද?ඔබගේ ආගමේ ධ්‍යාන ලැබෙන්නේ කොහොමද?භාවනාවෙන් තොරව ධ්‍යාන ලැබෙන්නේ කොහොමද?එය දෙවිඳුන් ලබා දෙන දෙයක් නම් ලිංගික එකතුවීමකින් තොරව දරුවන්ද ඉපදිය හැක.

    2012/07/31 at 9:13 AM
    • Anver Manatunga says:

      ඔබ ප්‍රශ්නය අසා ඔබම පිළිතුරක් දී තිබෙනවා. මට කියන්නේ එය පිළිගන්න කියාද? ඔබ සහ මා අතර පුළුල් සංවාදයක් ඇති වන්න නම් මීට වඩා විවෘත මනසිකින් හිතන්න පුරුදු වෙන්න. හැම දෙයක්ම ඔබගේ දහමේ කෝණයෙන් බලන්න එපා. අනෙක් දහම් වල තිබෙන හරයන් වටහා ගන්න නම් ඒ දහම් වල කෝණ‍යන් වලින් බලන්න සිදුවෙනවා.

      2012/07/31 at 10:48 AM
  • adhahasak says:

    සාමාන්‍යයෙන් හොඳ දේවල් වලට වඩා නරක දේවල් පැතිරෙන වේගය වැඩියිනේද?අනික මහ පොලොවේ මැණික් වලට වඩා තිරිවාන ප්‍රමානයත් වැඩියිනේ.මොනව කරන්නද,මැණික් නැති අයට පළිඟුවත් වටිනවනේ.ඒත් අපි කියන්නේ දියමන්තියක් හොයාගන්න කියලා.මොකද අපි ලඟ තියෙන්නේ දියමන්තියක්.

    2012/07/31 at 9:25 AM
    • Anver Manatunga says:

      ඔබ දියමන්ති ගැන දන්නෙ නැති නිසා එය උදාහරණයට ගත්තා. ඇත්තටම දියමන්ති කියන්නේ කිසිදු වටිනාකමක් නැති දෙයක්. තවදුරටත් දියමන්ති යනු දුර්ලභ දෙයක් ‍නොවේ. නමුත් කිසියම් ව්‍යාපාරික ජාලයක් විසින් තවදුරටත් ලෝකයේ දියමන්ති යනු ඉතාමත් වටිනා ගල් වර්ගයක් බවට පත්කරගෙන තිබෙනවා. ඔබ කියන්නේ ඔබගේ දහමත් ඒ වගේ කියාද?

      2012/07/31 at 10:55 AM
    • Mr. Who-2 says:

      ඔබ කියන්නට තැත් කරන්නේ ඔබේ දහම අනෙක් සියලු ධර්මයන්ට වඩා හොඳයි කියාය. මෙම ප්‍රකාශයත් සමග සංවාදය අවසන්වේ. දැන් මෙම සයිට් එක කියවන සියල්ල ඔබේ තිරිවාන උදාහරනය කියවා පැහැදීමට පත්වී ඔබේ දහම පිලිගනු ඇත.

      (ඊලඟ වතාවේ නුවනැති යමක් පල කරනු මැනවි )

      2012/07/31 at 11:42 PM
  • adhahasak says:

    මගේ ප්‍රශ්නය:-නබි තුමා භාවනා කලාද?ඔබගේ ආගමේ ධ්‍යාන ලැබෙන්නේ කොහොමද?භාවනාවෙන් තොරව ධ්‍යාන ලැබෙන්නේ කොහොමද?එය දෙවිඳුන් ලබා දෙන දෙයක් නම් ලිංගික එකතුවීමකින් තොරව දරුවන්ද ඉපදිය හැක…,

    ඔබේ පිළිතුර:-ඔබ ප්‍රශ්නය අසා ඔබම පිළිතුරක් දී තිබෙනවා. මට කියන්නේ එය පිළිගන්න කියාද? ඔබ සහ මා අතර පුළුල් සංවාදයක් ඇති වන්න නම් මීට වඩා විවෘත මනසිකින් හිතන්න පුරුදු වෙන්න. හැම දෙයක්ම ඔබගේ දහමේ කෝණයෙන් බලන්න එපා. අනෙක් දහම් වල තිබෙන හරයන් වටහා ගන්න නම් ඒ දහම් වල කෝණ‍යන් වලින් බලන්න සිදුවෙනවා…
    ———-
    ඔයා ප්‍රශ්නයෙන් පැන ගිහිල්ලා නේද?මම ඇහුවේ භාවනාවකින් තොරව ධ්‍යාන ලැබෙන්නේ කොහොමද කියලා?..ධ්‍යාන ලබන්න ඔබේ ධර්මයට අනුව පුලුවන්නම් ,ඒකට කියන නම මොකක්ද සහ ඔබගේ ක්‍රමය මොකක්ද?

    2012/07/31 at 3:41 PM
    • Anver Manatunga says:

      ප්‍රශ්නය වෙනතකට ගෙනගොස් තිබෙන්නේ ඔබයි. කරුණාකරලා නැවත ප්‍රශ්නයට එන්න. ඔබ කිව්වේ නබි තුමාණන් මාස 3 ක් භාවනා කරපු බවක්. මම ඔබගෙන් එය තිබුනේ කොහේදැයි ඇසුවා. ඔබ නොදන්නා යමක් ගැන පලමුව සොයා බලා කථා කරන්න. දැන් ඔබ එය දැනගත්තේ කොහෙන්දැයි පෙන්නන්න.

      2012/07/31 at 3:52 PM
  • fathima says:

    උදේට ලෝක සිතියම බැලුවම විතරක් මදි මොකද සමහර නාලිකා උනත් කඩේ යනවනේ..චැනෙල් 4 බලලා ලංකාව ගැන තීරණය කරන්න බැහැනේ

    2012/08/04 at 8:32 PM
  • safrath says:

    life is islam

    2012/08/09 at 8:14 PM

Your email address will not be published. Required fields are marked *

*